මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


ඔබ ව්‍යාපාරිකයෙක් ද 
                     මූල්‍ය අර්බුධයකදී එයට පිළියම් සොයමු

ඔබ සාර්ථක ව්‍යාපාරයකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙක් නම් ඔබ නිතර ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම පිළිබඳව වෙහෙසෙනවා ඇති. ඔබ නොසිතූ මොහොතක ව්‍යාපාරය පසුබෑමකට ලක් වුවහොත්? ඔබ එයට පිළියමක් සිතුවාද?  ඕනෑම ආයෝජකයකුට ඉහළ ප‍්‍රතිලාභයක් මෙන්ම අවධානමක් ද පවතින බැවින් එය ඉතා මෑතක හෝ වසර ගණනාවකින් හෝ සිදුවුවහොත් එයට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය පසුබිම ඔබ සකස් කර ගත යුතුයි. ඒ සඳහා පියවර කිහිපයක වැඩපිළිවෙළක් යොදා ගන්නේ කෙසේ දැයි විමසා බලමු.




පළමු පියවර ලෙස ඔබ වෙත පැමිණෙන  ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ඔබ තුළ වූ හැකියාවක් පිළිබඳ පූර්ණ විශ්වාසයකින් පසු විය යුතුය.  ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ඇති කර ගැනීම මෙහිදී සිදු කළ යුතුයි. ඔබේ විශ්වාසවන්තයකුගෙන් උපදෙස් ලබා ගැනීම මෙවැනි අවදානම් සහගත අවස්ථාවල වඩාත් වැදගත් වේ. ඔහු හෝ ඇය ඔබට සමාන ව්‍යවසායකයකු නම් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඔබේ ව්‍යාපාරය තුළ මේ අවස්ථාවේ පැන නැගී ඇති අර්බුදයට සමාන අර්බුදයක් අතීතයේ දී ඔහුගේ ව්‍යාපාරය තුළ ද සිදු වී තිබිය හැකි බැවින්, ඔහු හෝ ඇය එකී අර්බුද ජයගෙන තිබුණේ නම් ඔහු සමග අත්දැකීම් බෙදා ගැනීම විශේෂ අවස්ථාවකි.

අර්බුදකාරී තත්ත්වයක් තක්සේරු කරමින් එය ඔබේ ව්‍යාපාරයට මුදල් ගලා ඒම හෝ මුදල් සංචිත කෙරෙහි සෘණාත්මක බලපෑමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයකට පැමිණිය යුතුයි. එහිදී ව්‍යාපාරය සේවක පඩි නඩි මෙන්ම වෙනත් අනිවාර්ය ගෙවීම් සඳහා මුදල් හිඟ බව පෙනී යන්නේ නම් ව්‍යාපාරය තුළ එදිනෙදා වියදම් අවම කර ගැනීමේ විකල්ප මාර්ග සෙවිය යුතුයි. මූල්‍ය අර්බුදය වඩාත් දරුණු අතට හැරී ඇත්නම් ප‍්‍රධාන ව්‍යාපාර කාර්යයන්ට අත්‍යවශ්‍ය නොවූ අනියම් සේවකයන් තාවකාලිකව නවතා තැබීම වඩාත් සුදුසුයි. මෙය තෙවැනි පියවරයි.

සිව්වැනි පියවර වන්නේ නිතරම ධනාත්මක වූත්, ප‍්‍රබෝධමත් වූත් ආකල්ප පවත්වාගෙන යාමයි. මෙවැනි අවස්ථාවක ඔබ පෙරට වඩා කනස්සල්ලෙන් පසුවන්නේ නම් ඔබේ සේවකයන් ද ඉක්මණින් කලබලයට පත් විය හැකි අතර, ඔවුන් වෙනත් රැුකියා වෙත යොමු වීමට උත්සාහ කරනු ඇත. පස්වැනි පියවර ලෙස ඔබේ ගෙවීම ප‍්‍රමාද බව ප‍්‍රත්‍යක්ෂ වන්නේ නම් ඒ බව ඔබ භාණ්ඩ හෝ සේවා ලබා ගන්නා එකී සැපයුම්කරුවන් වෙත දැනුම් දිය යුතුයි. එහිදී ඔවුන් විසින් ඔබව ඇමතීමට පෙර මුදල් ගෙවීමේ සැලැස්මක් සකසාගෙන ඒ පිළිබඳ පෙර සූදානමකින් ඔවුන් සමග කතා බහ කළ යුතුය. යම් නිශ්චිත කාල වකවානුවක මුදල් ආපසු ගෙවීමේ හැකියාව පවතින්නේ ද යන වග ඔවුන් අසා සිටින්නේ නම් ඔබේ පිළිතුර කිසිසේත්ම ”මම දන්නේ නැහැ”, ”තව බලන්න  ඕන” ආදී වශයෙන් වූ වැනෙන පිළිතුරක් නොවිය යුතුයි. ඒ වෙනුවට ඔබ යම් නිශ්චිත සැලසුමකට අනුව ඔවුන්ට විශ්වාස කළ හැකි පිළිතුරක් ලබා දීමට වග බලා ගත යුතුයි.

හයවැනි පියවර වන්නේ ඔබේ වර්තමාන ව්‍යාපාර සැලසුමේ ගුණ දොස් විමසා බැලීමක් කළ හැකි වීමයි. ඒ අනුව අනාගතයේ හෝ මෙවැනි මූල්‍ය අර්බුදයක් පැන නොනගින ආකාරයෙන් අවස්ථානුකූලව එකී සැලසුමේ අවශ්‍ය වෙනස් කිරීම් දැන්ම සිදු කළ හැකිය. මීළඟට ඉතා වැදගත් පියවරක් ක‍්‍රියාත්මක කිරීමට ඔබට හැකියාවක් ලැබේ. සෑම විටම ඉතා පහසුවෙන් හා ලිහිල්ව සිටීමට උත්සාහ ගත යුතුයි. මෙහිදී බොහෝ විට කෙටි සංචාරයකට ආදියට එක් විය හැකියි. එසේත් නොමැති නම් ලැබුණු අවස්ථාවකදී කෙටි නින්දට යාම ආදී වශයෙන් ශරීරය ලිහිල්ව තබා ගැනීමේ උපක‍්‍රම යොදා ගත හැකියි.




ඉහත දක්වන ලද කරුණුවලට අමතරව ව්‍යාපාර මූල්‍ය අර්බුධයකට ලක් නොවී පවත්වා ගැනීම සඳහා කළ හැකි පිළිවෙත් බොහෝ වේ. හොඳ ගිණුම්කරුවකු මෙන්ම දක්ෂ නීතිඥයකු නොකඩවා ව්‍යාපාරය තුළ පවත්වා ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම ගෙවීමට ඇති සියලූ බිල්පත් නියමිත කාලවකවානුව තුළදී ගෙවා දැමීමට පියවර ගත යුතුයි. ඔබ වෙත භාණ්ඩ හෝ සේවා ලබා දෙන සැපයුම්කරුවකුට සිදු කළ යුතු ගෙවීමක් නියමිත කාල වකවානුවකට ගෙවීමට නොහැකි වන්නේ නම්, ඔහු ඔබ ඇමතීමට පෙර, ඔබ ඔහු අමතා තත්ත්වය පැහැදිලි කළ යුතුයි. අත්‍යවශ්‍ය රැුස්වීම්වලට සහභාගී නොවී හෝ දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදෙමින් අර්බුදය සඟවා තබා ගැනීමට උත්සාහ නොකළ යුතුය. ව්‍යාපාරයේ සේවකයන් ඉවත් කළ යුතුම අවස්ථාවක් පැන නගින්නේ නම්, මූලික වශයෙන් පරිපාලන කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් එය ආරම්භ කළ යුතුයි. නමුත් ව්‍යාපාරයට ආදායම් ලබා දෙන පුද්ගලයන් හැකිතාක් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. කාර්යාලයට අවශ්‍ය ආම්පන්න තෝරා ලබා ගනිමින් කාර්යාලයේ එදිනෙදා අනවශ්‍ය වියදම් අවම කරමින් ප‍්‍රවාහන හා විනෝදාස්වාදය සඳහා කරන වැය කිරීම් අවම කරමින් සමස්ත වියදම ක‍්‍රමයෙන් අඩු කළ යුතුයි. එමෙන්ම කිසිම අවස්ථාවක මුදල් ගෙවීම් සම්බන්ධ ඔබට ඉටු කළ නොහැකි පොරොන්දුවක් සැපයුම්කරුවන් වෙත ලබා නොදිය යුතුයි.

නිර්මාණි 

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...