මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


ජාතික නිදහස වෙනුවෙන් සිදු කළ දේශපාලන අරගලයන්

1815 වසරේදී උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යයන්ට යටත්වීමෙන් පසුව 1948 වසරේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් එනම් වසර 133ක කාලයක් සමස්ත දිවයිනම බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවතුණි. මෙම කාලය තුළදී බි‍්‍රතාන්‍යයන් විසින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වාදුන් නමුත් ඒවායින් සෑහීමකට පත් නොවූ ලාංකිකයෝ අඛණ්ඩ උද්ඝෝෂණවල නිරත වූහ. 1948 වසරේදී පාලන බලය ලාංකිකයන්ට ලබාගත හැකි වූයේ එම උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් වශයෙනි. නිදහස ලබාගත් එම දීර්ඝ ගමනේ වැදගත් දේශපාලන සංධිස්ථාන පිළිබඳව දිගහැරෙන සටහනකුයි මේ.


1815 වසරෙන් පසුව බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් ලංකාවේ පාලන කටයුතු ගෙනයාමේදී රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම මත බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් නිතර මුදල් ඉල්ලා සිටීමට සිදුවිය. එම තත්ත්වය පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට යටත් විජිත ලේකම් විසින් විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බෲක් මෙරටට පත් කර එවන ලදී. 1829 දී ඔහු මෙරටට පැමිණි අතරම කෝල්බෲක් කොමිසමේ නිර්දේශ පදනම් කර ගත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් 1833 වර්ෂයේදී මෙරටට හඳුන්වා දී ඇත. එය කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණයයි.


එමගින් මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත‍්‍රයේ පුළුල් වෙනස්කම් ඇති වූ අතර දිවයින පළාත් පහකට බෙදීම, ව්‍යවස්ථාදායකය හා විධායක සභා පිහිටුවීම, රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම ආදිය එමගින් සිදුවූ ප‍්‍රධාන කරුණු වේ. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණවල යම් යම් අංශ සංශෝධනය කර ගැනීමේ උද්ඝෝෂණයක් මුල්වරට ආරම්භ කරන ලද්දේ මෙරට සිටි යුරෝපීය ව්‍යාපාරිකයන් විසිනි. යුරෝපීන්ගේ උද්ඝෝෂණවල අරමුණ, පාලන බලතල ලාංකිකයන් අතට පත් කරවා ගැනීම නොවූවත්, ලාංකිකයන්ට ආදර්ශ ලබා ගැනීමට එම උද්ඝෝෂණ බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ නිසා 19 වන සියවස තුළ මෙරට ආර්ථිකමය හා සමාජීය වශයෙන් පුළුල් පරිවර්තනයක් සිදු විය. එහි ප‍්‍රතිඵල ලෙස 20 වන සියවස ආරම්භ වන විට පැරණි ප‍්‍රභූ පන්තිය අභාවයට ගොස් නව ලාංකික මධ්‍යම පන්තියක් බිහිවිය.


 


1833 වසරේ සිට වසර 70ක පමණ කාලයකදී රට තුළ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්වීම්වලට සාපේක්‍ෂව දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සිදුව නොතිබුණි. ලාංකික මධ්‍යම පන්තිය මේ සම්බන්ධව අසතුටෙන් පසු වූ අතර, 1908 -1909 වසරවල ඔවුහු ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට තදබල ලෙස ඉල්ලීම් කර ඇත. 1908 වසරේදී ජේම්ස් පීරිස් මහතා විසින් ලංකාවට ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට විධිමත් පෙත්සමක් මුල්වරට යටත් විජිත භාර ලේකම් වෙත ඉදිරිපත් කර ඇත. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මැකලම් ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට විරුද්ධ විය. එහෙත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට මතුවෙමින් තිබූ තර්කානුකූල අදහස් නොසලකා හැරීමට යටත් විජිත කාර්යාලවලට හැකියාවක් නොතිබුණි. මින් පසුව 1910 වසරේදී කෲව් මැකලම් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ඇති විය. මෙහිදී, උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් නියෝජිතයෙකු එම සභාවට පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවට ප‍්‍රථම වරට ඡුන්ද බලයෙන් නියෝජිතයන් පත්කිරීමට ඉඩ ලැබීමද සිදු විය. 1910 ප‍්‍රතිසංස්කරණය තුලින්ද ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු වී නොතිබීම හේතුවෙන් නැවතත් උද්ඝෝෂණ ආරම්භ විය. එම උද්ඝෝෂණ 1912, අමද්‍යප උද්ඝෝෂණයයි.
19 වන සියවස අවසානය වන විට ලංකාව මෙන්ම ඉන්දියාව තුළත් බි‍්‍රතාන්‍ය බලය ව්‍යාප්ත වී තිබිණ. මෙසේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ඉන්දියාව තුළ 20 වන සියවස ආරම්භ වන විට ප‍්‍රබල ජාතික ව්‍යාපාරයක් ආරම්භ විය. මෙකල ඉන්දියානු නිදහස් සටනේ ආභාෂය මෙරටටද ලැබුණු අතර 1915න් පසුව වඩා සංවිධානාත්මකව උද්ඝෝෂණ මෙහෙයවීමට මෙරට නායකයන් කටයුතු කළ බව පෙනී යයි.

1915 වසරේ සිංහල, මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ යුධ නීතිය ඇතිවීම මගින් ආණ්ඩුව ජනතාව මර්දනය කළ නිසා පාලන කටයුතුවලදී ලාංකිකයන්ට වැඩි බලතල ලබාගැනීමේ අවශ්‍යතාව තදින්ම මතුවිය. මෙම හේතු මත 1919 වසරේ දෙසැම්බර් මස ‘‘ලංකා ජාතික සංගමය’’ පිහිටුවනු ලැබීය. මෙරට උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප‍්‍රබල නායකයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා මෙම සංගමයේ ප‍්‍රථම සභාපතිවරයායි. මෙම සංවිධානවල තදබල උද්ඝෝෂණ මත 1920 වසරේ මැනිං ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ලැබුණු අතර පළාත්බද නියෝජනය, ව්‍යවස්ථාදායක සභාවේ මුල්වරට නිල නොලත් බහුතරයක් ඇතිවීම, ආදිය ප‍්‍රතිසංස්කරණ බවට පත්විය. නමුත් මෙහිදී ද ආණ්ඩුකාරවරයාට පැවරුණු බලතල අඩු නොවින. 1924 වසරේදී මැනිං ඩෙවොන්ෂියර් ප‍්‍රතිසංස්කරණය ලැබුණු අතර එමගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පිරිස 49 දක්වා වැඩි කෙරිණි. මෙහිදී ආණ්ඩුව පවත්වාගෙන යාමේ වගකීම් තවදුරටත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබුණ ද ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂපාත තීරණාත්මක බහුතර ඡුන්දයක් ඔහුට නොතිබීම නිසා එකී බලය මහජන නියෝජිතයන්ට පැවරිණි. ඩොනමෝර් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව 1927 දී ඩොනමෝර් කොමිසම ක‍්‍රියාත්මක වූ අතරම මෙතෙක් පැවැති විවිධ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ අතරින් ලාංකිකයන්ට සැලකිය යුතු දේශපාලන වගකීමක් පැවරූ ප‍්‍රතිසංස්කරණයක් ලෙස මෙම ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය වැදගත් වේ. මෙය නිදහස දිනාගැනීමට ගමන් කළ මාවතේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස කැපී පෙනේ.

1912 වසරේ සිට ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තේරීමේදී ඡුන්ද බලය ක‍්‍රියාත්මක වුවත් ඡුන්ද හිමි සංඛ්‍යාව ඉතා සීමිත විය. 1924 වන විටත් මෙරට ඡුන්ද දායක සංඛ්‍යාව 4%ක් තරම් සුළු ප‍්‍රතිශතයකි. එමෙන්ම ස්ත‍්‍රීන්ටද ඡුන්ද බලය හිමි නොවිණ. මෙසේ ජනගහනයෙන් අධ්‍යාපනය හා වත් පොහොසත්කම් ඇති අයට පමණක් ඡුන්ද බලය හිමිවීම නිසා අඩු ආදායම්ලාභි ජනතාවගේ ගැටලූ කෙරෙහි දේශපාලනඥයන්ගේ අවධානය අවම වී ඇති බව ඩොනමෝර් කොමිසමේ අදහස විය. මෙම මූලික කරුණු මත සුදුසුකම්වලින් තොරව වයස අවුරුදු 21ට වැඩි ස්ත‍්‍රී, පුරුෂ සියලූ පුරවැසියන්ට ඡුන්ද බලය හිමිවිය. එනම් එය 1931 වසරේ හිමි වූ සර්වජන ඡුන්දය බලයයි. මෙය පොදු ජනතාව ලැබූ සුවිශේෂ ජයග‍්‍රහණයකි. මෙම ප‍්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක මෙන්ම විධායක කටයුතු පිළිබඳ බලයක්ද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ලැබිණි. එහිදී මැතිවරණයකින් පසුව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සාමාජිකයන් කාරක සභා 7කට බෙදිණි. ඒවා ස්වදේශකටයුතු, පළාත් පාලනය, කෘෂිකර්මය සහ ඉඩම්, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රවල වීය. මීට පෙර පැවැති ආණ්ඩුක‍්‍රම හා සසඳන විට ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ ආණ්ඩුකාරවරයාගේ බලය බොහෝ දුරට අඩුවී තිබුණි. නමුත් තවදුරටත් ආණ්ඩුකාරවරයාට හා රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය පාලනයේ වැදගත් අංශ රැුසක බලතල පැවරී තිබීම මත 1931 වසරේ සිටම උද්ඝෝෂණ නැවත ආරම්භ විය.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සහ ලංකා ජාතික සංගමය රැුගෙන ගිය උද්ඝෝෂණවලට අමතරව මෙරට වාමාංශිකයන් විසින්ද නිදහස ලබාගැනීමේ උද්ඝෝෂණ දියත් කරන ලදි. 1935 වර්ෂයේදී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවාගත් ඇන්.ඇම්. පෙරේරා මහතා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා, වාමාංශිංක උද්ඝෝෂන ප‍්‍රචාරක කටයුතු සඳහා සූරියමල් ව්‍යාපාරය යොදාගත්හ. සූරියමල් ව්‍යාපාරය ආරම්භ වූයේ පොපිමල් ව්‍යාපාරයට ප‍්‍රතිවිරුද්ධවය.

1939 වසරේදී දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භ වීම නිසා යුද්ධ අවස්ථාවේ බි‍්‍රතාන්‍යන්ට ලංකාවේ සහයෝගය අවශ්‍ය විය. යුද්ධ අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකයන්ට ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට විශේෂ ආරක්‍ෂක මණ්ඩලයක් පත්කළ අතර, එවකට කෘෂිකර්ම ඇමති ඞී.එස් සේනානායක මහතාද එම මණ්ඩලයට සහභාගි විය. යුද්ධයේ පැවැති දුෂ්කර අවස්ථාවේ ඇමති මණ්ඩලය ලබාදුන් සහය නිසා පැහැදුණු මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා ඇතුළු උසස් නිලධාරීන්, යුද්ධය නිම වූ පසුව ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටුවන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ලබා දෙන ලෙස බි‍්‍රතාන්‍යයට දන්වා යවා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස යම් සීමාවන්ට යටත්ව, ලංකාවට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය ලැබුණි. 1944 වසරේදී ඇමති මණ්ඩලය සැකසූ එම කෙටුම්පතට අනුව මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ලාංකිකයන්ට ලැබෙන පාර්ලිමේන්තු ආංඩුක‍්‍රමයක් යෝජනා විය. මෙකල ලංකා ජාතික සංගමයද නිදහස ලබා ගැනීමෙහිලා උද්ඝෝෂණවල නිරත වීය.

මෙම කෙටුම්පත සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක‍්‍රමයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට 1944 වර්ෂයේදී සෝල්බරි කොමිසම පත් කෙරිණි. 1945 සෝල්බරි කොමිෂන් වාර්තාව ප‍්‍රකාශයට පත් අතර එහි පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යෝජනා වී තිබිණි. 1945 දී එම ආණ්ඩුක‍්‍රමය රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් සම්මතවීම වැදගත් සංධිස්ථානයකි.

සෝල්බරි ආණ්ඩුක‍්‍රමය යටතේ පැවැත්විය යුතු ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු නමුදු ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම පිළිබඳව බි‍්‍රතාන්‍යයන් කිසිදු අදහසක් පළ කර නොතිබුණි. මේ නිසා නිදහස ලබා ගැනීමට ලාංකිකයන්ට ඇති අයිතිය පිළිබඳව ඞී.එස් සේනානායක මහතා ඇතුළු මෙරට නායකයන් බි‍්‍රතාන්‍යයන්ට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මැතිවරණයට මාස දෙකකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කළ යටත් විජිත භාර ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුලත නිදහස් රටක තත්ත්වය ලංකාවට ලබා දෙන බව නිවේදනය කළේය. මේ වන විට ඞී.එස් සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා තිබුණි.

1947 අගෝස්තු මාසයේදී පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදි, එක්සත් ජාතික පක්‍ෂය ආසන 42, ලංකා සමාසමාජ පක්‍ෂය ආසන 10, ද්‍රවිඩ සංගමය ආසන 07 ලෙස විවිධ පක්‍ෂ මගින් ආසන 95ක් දිනාගැනිණ. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් බැවින් ස්වාධීන අපේක්‍ෂකයන් රැුසකගේ සහය ලබා ගත් ඞී.එස්. සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලදි. දිවයින තුළ භූගෝලීය පිහිටීම, ආරක්‍ෂක හා යුද්ධ කටයුතු අතින් වැදගත් වූ හෙයින්, මෙරට සමඟ පැවති සබඳතා බිඳ දැමීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අකමැති විය. එම නිසා ඔවුන් 1946 වසරේ සිටම මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පාලන වගකීම ලාංකිකයන්ට පවරාදීමට අකමැති විය. බි‍්‍රතාන්‍යයේ මෙම අරමුණු තේරුම් ගත් නව අගමැති, 1947 නොවැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමඟ ආරක්‍ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් තැබීමට කටයුතු කළේය. මෙය සුවිශේෂි සංධිස්ථානයකි.

ආරක්‍ෂිත ගිවිසුම අනුව අවශ්‍ය ස්ථානවලදී බි‍්‍රතාන්‍යයේ නාවික, ගුවන් හා සෙසු යුද්ධ කටයුතුවලට මෙරට භූමිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට එකඟ විය. බාහිර කටයුතු ගිවිසුමට අනුව නිදහස් රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර සබඳතා අලූතෙන් ගොඩනගා ගැනීමේදී බි‍්‍රතාන්‍ය සහය ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ විය. මින්පසුව මෙරට නිදහස ලබාදීම  පිළිබඳ කරුණු ඇතුළත් ‘‘ලංකා ස්වාධීන පනත’’  බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි. එම පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුලත් ලංකා ස්වාධීන රාජාඥාව 1947 දෙසැම්බර් 19 දින නිකුත් කෙරිණි. 1948 වසරේ පෙබරවාරි 04 දින සිට එකී විධි විධාන ක‍්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවට නැවතවරක් නිදහස හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නීති පැනවීමට හා මෙරට පාලන කටයුතු ගෙන යාමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට තිබූ බලය අවසන් වී ලංකාණ්ඩුවට බලය හිමිවිය. 1948 වසරේ පෙබරවාරි 10 දින නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතා ඉංග‍්‍රීසි ධජය පහත හෙළා යළි සිංහ ධජය එසවීමේ ඒ උදාර දිනය උදාවිය. මේ අනුව පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය බවට පත්විය. මේ අප මෙවර සමරන 69 වන අභීත නිදහසේ දේශපාලන පසුබිම් කතාවයි.

නිර්මාණී


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...