මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018



ජාතියේ නිදහස උදෙසා හේතු වූ ජාතික පුනරුද ව්‍යපාරයන්

2017 පෙබරවාරි මස 04 වැනි දිනට 69 වැනි නිදහස සමරන ශ්‍රී ලාංකික අපට, ලබාගත් උතුම් නිදහසේ අතීතාවර්ජනය කෙදිනකවත් අමතක කළ නොහැකි කැපකිරීම් සහ මෙතෙකැයි කිව නොහැකි ජීවිත පූජා කිරීම් බොහොමයක ප‍්‍රතිඵලයක් ලෙස හිස කෙලින් තබාගෙන ජාතියක් ලෙස නැගී සිටීමට අපට උතුම් වූ නිදහසක් හිමි වී ඇත. දුෂ්කර වූ එම ගමනේ තවත් එක් සංධිස්ථානයක් පිළිබඳව විමසීම මෙම ලිපියේ අරමුණයි.





1850 වර්ෂයෙන් පසුව 1915 වසර වනතෙක් ආගමික සහ ජාතික පුනරුද ව්‍යාපාරයේ කටයුතුවලට ප‍්‍රමුඛස්ථානය හිමිවිය. එමෙන්ම 1915 වසරේ සිට 1948 දක්වා දේශපාලන උද්ඝෝෂණවලට මූලිකත්වය ලැබුණි. 1815 වසරේදී උඩරට රාජධානිය යටත්වීමෙන් පසුව මෙරට සාම්ප‍්‍රදායික ආගම් සහ සංස්කෘතියේ පැවැත්මට බාධා එල්ලවිය. මෙම හේතුව මූලික කර ගනිමින් 19 වන සියවසේ අගභාගය වන විට මෙරට බෞද්ධ ජනතාව තුළ මෙන්ම හින්දු හා ඉස්ලාම් ජනතාව තුළද ආගමික හා ජාතික වශයෙන් ප‍්‍රබෝධයක් ඇති විය. එම තත්ත්වය ජාතික පුනරුදය ලෙස හැඳින්විය හැකි අතර ඒ පිළිබඳව සටහනක් මෙහි දැක්වේ.

යුරෝපීන් විසින් තමන් යටත් කර ගත් ප‍්‍රදේශ පාලනය කිරීමේදී පක්‍ෂපාතී ජනතාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් තම ආගම හා සංස්කෘතිය පතුරුවා හැරීමට කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය පාලන සමයේදී මෙරටට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් කිතුණු දහම මෙරට පැතිරවීම සිදු කර ඇත. එම සංවිධාන මිෂනාරී සංවිධාන ලෙස හඳුන්වන අතර එලෙස පැමිණි සංවිධාන ලෙස, 1804 වසරේ පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගම, 1812 බැප්ට්ස්ට් මිෂනාරි සමාගම, 1816 ඇමරිකන් මිෂනාරී සමාගම සහ 1818 වසරේ පැමිණි චර්ච් මිෂනාරි සමාගම හැඳින්විය හැකිය. එකල මෙම සංවිධානවල නායකයන් විසින් ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ආගම පැතිරවීමේ කටයුතුවල නිරත විය. ලංකාවට පැමිණි මිෂනාරි සංවිධානවලට මුද්‍රණාල පිහිටුවීමට මෙන්ම පොත් පත් සඟරා ආදිය මුද්‍රණය කරවීමට අවශ්‍ය අරමුදල් සහ සංවිධාන ශක්තිය හොඳින් තිබිණ. ප‍්‍රධාන ගැටළුවක්ව තිබූ සිංහල භාෂා දැනුම නැතිකම පරිපූර්ණ කිරීමට ඔවුන්, සිංහල, දෙමළ භාෂා හැදෑරීමටද උත්සුක වූහ. පසුව බයිබලය සිංහලට පරිවර්තනය කිරීමටත්, සඟරා, පුවත්පත් ආදිය මුද්‍රණය කර බෙදාහැරීමටත් කටයුතු කළහ. 1832 වසරේ ‘‘මාසික තෑග්ග’’, 1840 වසරේ ‘‘ලංකා නිධානය’’ එලෙස මුද්‍රණය වූ ප‍්‍රකාශන දෙකකි. එමෙන්ම මිෂනාරී පූජකවරු පන්සල් හා මහජනතාව ගැවසෙන වෙනත් ස්ථානවල දේශන පවත්වා ආගමික ප‍්‍රචාරක කටයුතුවල නිරත විය.


        එමෙන්ම පාසල් ආරම්භ කිරීමට හා ඒවා පවත්වාගෙන යාමටත් ඔවුහු කැපවීමෙන් කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය පාලන සමයේදී රජයේ තනතුරු ලබා ගැනීමට ඉංග‍්‍රීසි භාෂා දැනුම අවශ්‍ය විය. මේ නිසා සිංහල හා දෙමළ දරුවන්ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා මිෂනාරී පාසල්වලට යාමටද සිදුවිණි. මෙවන් වාතාවරණයක් තුළ බෞද්ධ හා හින්දු ඇතැම් සිරිත්විරිත් විවේචනය කිරීම නිසා ඒවාට පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවය තදින්ම පැනනැගුණි. එමෙන්ම සිංහල, දෙමළ වැනි ස්වභාෂා අධ්‍යාපනයට රජයෙන් අනුග‍්‍රහය ප‍්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දේශීය භාෂා අධ්‍යාපනය නගා සිටුවීමේ අවශ්‍යතාවද ඇතිවිය. මෙම ගැටලූවලට පිළියම් සෙවීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ප‍්‍රමුඛත්වයක් දැරූ අතර පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවීම බෞද්ධ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැදගත් සංධිස්ථානයකි.

එම පිරිවෙනින් උගත් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ 1873 වර්ෂයේදී මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන පිහිටවූහ. පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියන් විසින් 1875 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවන ලදී. මෙසේ පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය යළි ආරම්භවීම බෞද්ධ පුනරුදයට විශාල ආශිර්වාදයක් විය. එතෙක් අඩුපාඩුවක්ව පැවැති බෞද්ධයන් සඳහා වූ මුද්‍රණාලයක් පිහිටුවීමට බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියෝ කටයුතු කළහ. 1862 වර්ෂයේ දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටවීම බෞද්ධ පුනරුදයේ වැදගත් අවස්ථාවකි. ‘‘සුදර්ශන’’ මුද්‍රණාලය ‘‘සරසවි සඳරැුස’’ මුද්‍රණය, ‘‘කවට කථික’’ මුද්‍රණාලය එකල පිහිටවූ මුද්‍රණාල කිහිපයකි. එම මුද්‍රණාල මගින් ‘‘ලක්මිණි පහන’’, ‘‘සිංහල ජාතිය’’, ‘‘සිංහල බෞද්ධයා’’, ‘‘ලංකාලෝකය’’ වැනි ප‍්‍රකාශන මුද්‍රණය විය.

ආගම ප‍්‍රචාරය කිරීමට මිෂනාරී දේශන මාධ්‍ය යොදාගත් අයුරින් ඊට පිළිතුරු වශයෙන් බෞද්ධයන් ද දේශන මාධ්‍ය යොදාගත් ආකාරය ප‍්‍රසිද්ධ වාද විවාද මගින් හෙලි වේ. මිෂනාරී පූජකවරු සමඟ වාද විවාද පැවැත්වීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පෙරමුණ ගත්හ. මෙහිදී, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි, පූජ්‍ය පොතුවිල ඉන්ද්‍රජෝති හිමි වැනි උගත් හිමිවරුන් කැපී පෙනේ. මෙම වාද ‘‘පංචමහා වාද’ ලෙස නම් කළ අතර 1865  බද්දේගම වාදය, 1865 වරාගොඩ වාදය, 1866 උදන්විට වාදය, 1871  ගම්පොළ වාදය සහ 1873 පානදුරා වාදය එම වාද පහයි. මෙම වාද මාලාව අතරින් පානදුරා වාදයට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලැබුණි. 1880 වර්ෂය වන විට බෞද්ධයන් ලේඛන මාධ්‍ය හා දේශන මාධ්‍යයෙන් ඉදිරියට පැමිණ සිටි නමුත් මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමයට සරිලන ඉංග‍්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් පිහිටුවීමට අපොහොසත් විය. මේ සඳහා අවස්ථාව උදා වූයේ  ඕල්කට් තුමා ලංකාවට පැමිණීමෙන් පසුවය.


1880 වසරේ ජුනි මාසයේදී  ඕල්කට් තුමාගේ මඟපෙන්වීම යටතේ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීය. ගාල්ල, මහනුවර, රත්නපුර වැනි නගරවල එම සමාගම් ශාඛා ඇති කළ අතර, ගිහි, පැවිදි බොහෝ දෙනෙක් වේදිකාවට කැඳවූ සංවිධානයක් බවට පත්විය. බෞද්ධ පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයේදී පෙරමුණ ගෙන ක‍්‍රියාකළ ගිහි පැවිදි පිරිසගෙන් කිහිපදෙනෙක් ලෙස, හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමා, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි, අනගාරික ධර්මපාල තුමා, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සඳහන් කළ හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාල, මාතලේ විජය විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාල එම පාසල් අතර ප‍්‍රධාන වේ. එකල සිදුවූ අධ්‍යාපන ප‍්‍රබෝධය නිසා ජනතාවගේ සාක්‍ෂරතා මට්ටම ඉහළ ගිය අතර  ඕල්කට් තුමාගේ මැදහත්වීම මත රජය ලවා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමටත් අද පවා භාවිතා වන බෞද්ධ කොඩිය නිර්මාණය කර ගැනීමටත් හැකිවීම බෞද්ධ පුනරුද සමයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

20 වන සියවස වන විට බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් ස්වදේශිකයන් තුළ දේශානුරාගය දැනවීමේ ව්‍යාපාරයක්, බෞද්ධ පූජනීය ස්ථාන රැුක ගැනීමේ ව්‍යාපාරයක්, අමද්‍යප ව්‍යාපාරයක් බිහිවිය. අනගාරික ධර්මපාලතුමා විසින් මෙරට අතීත ශිෂ්ටාචාරයේ වැදගත්කම හා බෞද්ධ සහජීවනයේ වටිනාකම පැහැදිලි කරමින් නව චින්තනයක් ඉදිරිපත් කළ අතර, ප‍්‍රසිද්ධ දේශන පවත්වමින්ද, ‘‘සිංහල බෞද්ධයා’’, ‘‘මහාබෝධි සඟරාව’’ වැනි ප‍්‍රකාශනවලට ලිපි සපයමින්ද එතුමා විශාල සේවයක් කර ඇත. රජරට ශිෂ්ටාචාරයන් බිඳ වැටීමෙන් පසු අනුරාධපුර, පොළොන්නරුව වැනි අගනුවරවල් ආශ‍්‍රිත බෞද්ධ ස්මාරක වල් බිහි වී විනාශ වෙමින් පැවැති අතර 19 සියවස අග භාගය වන විට ඒවා ප‍්‍රතිසංස්කරණය කර අතීත උරුම රැුකගැනීම පිළිබඳව මෙකල ජනතාව තුළ උනන්දුවක් ඇති විය.

මිෂනාරි සංවිධානවල ආගමික ප‍්‍රචාරක කටයුතුවලින් එල්ල වූ අභියෝග නිසා මෙරට හින්දු ජනතාව අතරද ආගමික හා සංස්කෘතික පිබිදීමක් ඇතිවිය. එම හින්දු පුනරුද ව්‍යාපාරයට නායකත්වය සපයන ලද්දේ ආරුමුග නාවලර්තුමා විසිනි. මුද්‍රණාල පිහිටුවීම, පොත් බෙදාහැරීම, ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීම මගින් එතුමා විශාල සේවයක් ඉටු කර ඇත. ‘‘උදයාභාණු’’ ලෙස පුවත්පතක් ආරම්භකළ එතුමා දමිළ සිසුන් වෙනුවෙන් ‘‘පෙරිය පුරාණම්’’, ‘‘ස්කන්ද පුරාණම්’’ යන ගද්‍ය පද්‍ය පොත් පරිවර්තනය කොට ප‍්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් යන නායකයෝ හින්දු ව්‍යාපාරයට විශාල මෙහෙයක් ඉටු කරන ලදී. පොන්නම්බලම් අරුනාචලම් මහතා සිංහල නායකයන් සමඟ එකතු වී දේශපාලන බලතල ලාංකිකයන්ට ලබාගැනීම සඳහා 1919 වර්ෂයේදී ‘‘ලංකා ජාතික සංගමය’’ පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ඇම්.සී සිද්දිලෙබ්බේ මහතා මුස්ලිම් ජනතාව තුළ ඉස්ලාම් ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති කරලීමට නායකත්වය දුන් අතර මුස්ලිම් දරුවන් වෙනුවෙන් කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීමට එතුමා මූලික විය. ටී.බී. ජයා මහතාද මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන ප‍්‍රබෝධය සඳහා වෙහෙස දැරිය. මෙලෙස බෞද්ධ පුනරුද ව්‍යාපාරය හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුවක් ඇති වූ අතර, විවිධ පොත්පත් සඟරා කියවීම මත රටේ ජනතාවගේ බුද්ධි වර්ධනයක් ඇතිවිය. පිරිවෙන් හා බෞද්ධ පාසල් ඇතිවීම මත දේශීය සංස්කෘතිය අගය කරන තරුණ පරපුරක් ද බිහිවිය. මෙම තත්ත්වය මිෂනාරී සංවිධානවලට අභියෝගයක් වූ අතර දිනාගත් උතුම් නිදහස් සටනේ මූලික අඩිතාලම වූ ආගමික සහ ජාතික පුනරුදය මෙයයි.

නිර්මාණි 

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...